Follow Us On

‘‘ නිපුන් අයියෙ මට කැලයක් හදන්න ඕනෙ, ඒත් කෝ ඒ වැඬේ කරන්න ඉඩමක් නෑනේ. අවුරුදු ගාණක් තිස්සේ ඒක මට තිබ්බ හීනයක්.’’ ඒ වෙන කිසිවෙක් නොවේ, අපේ සමාජ සත්කාර අධ්‍යක්‍ෂ අඛිල අධීෂ්වර. ඔන්න ඔතනින් තමයි මේ මහඟු කාර්තව්‍යයට මුල පිරුණේ. එදා ඉඳලා අපි ලංකාව පුරාම ඉඩම් හොයන්න පටන් ගත්තා. වන ජීවී දෙපාර්තමේන්තුවේ ඉඳලා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය දක්වාම දන්න අඳුරන සෑම තැනකටම කතා කළා. ඒ සියළුම උත්සාහයන් ‘‘අපි නැවත දැනුම් දෙන්නම්’’ යන වචන කීපයකට පමණක් සීමා වුණා.

කාලය කෙමෙන් ගෙවී යන්නට වුණා. නමුත් අපේ බලාපොරොත්තුව තවත් ශක්තිමත් වුණා. මේ විදියට දින ගණනක් ගෙවී යන විට, අපේ කොහෙන්දෝ තිබුණු වාසනාවකට මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අක්කර දෙකක භූමි ප‍්‍රමාණයක් ලබා දීමට පිංවත් මහත්මයෙක් කැමැත්ත පළ කර සිටියා. අපේ හිත්වලට දැනුණ සතුට වචන පේළි දෙක තුනකට ගොනු කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඔන්න ඔය විදිහට ‘‘හරිත අරණට’’ අඩිතාලම වැටෙන්න වුණා.

අපගේ පළවන නිරීක්‍ෂණ චාරිකාව වැඩි දවසක් නොයවා යොදා ගන්නට අප කටයුතු කළා. එම චාරිකාව අමතක නොවන අත්දැකීම් රැසක් අපට එක්කරන්නට වුණා. එයට ප‍්‍රධානතම හේතුව වූයේ චාරිකාවට පෙර දිනයේ තවත් ව්‍යාපෘතියක් යෙදී තිබීමයි. එය අවසන් කර නින්දට යන විට කාලය රාත‍්‍රී 12 පසුකර ගොසින්. ‘‘හරිත අරණ’’ යන සිහිනය සැබෑ කරගැනීමට තිබුණු උද්යෝගය නිසාවෙන් පසු දින පාන්දර 3ට අවදිවීම එතරම් අපහසු වුණේ නෑ. අවශ්‍ය සියළු දේ එකතුකරගෙන අපි කොළඹින් පිටත් වුණා. වැඩි දුරක් යන්න මත්තෙන් පසුපස ආසනයෙන් ඇසෙන්නට වුණේ ගොරවන හඬක්. ‘‘හරිත අරණ’’ මහ මොළකරු මර නින්දේ. කොහොමෙන් කොහොම හරි පැය කීපයකින් පසු අපි අපේ ගමනාන්තයට ළඟා වුණා.

නිමල් ද සිල්වා මහතා, භූමියේ අයිතිකරු අපිව පිළිගත්තේ සිනහමුසු මුහුණෙන්. ඒ වන විට වෙලාව උදෑසන 10 ට පමණ ඇති. ‘‘ආයුබෝවන් ළමයිනේ, මහන්සි ඇතිනේ, අපි වතුර උගුරක් බීලම ඉඩම වටේ රවුමක් යමු.’’ නිමල් මහතා එසේ කියනවාත් සමගින් අපි එකිනෙකාගේ මුහුණු දෙස බලන්න වුණේ ‘‘මේ ගිනි රස්නෙ කොහේ අවිදින්නද?’’ යන්න සිතින් සිතමින් අපි ගමනට මුල පුරන්න වුණා. මෙම ගමනේ ප‍්‍රධානතම අරමුණ වුණේ අක්කර 22 ක් පමණ වූ මුළු භූමි ප‍්‍රමාණයෙන් අපට අවශ්‍ය භූමි ප‍්‍රමාණය තෝරා ගැනීමයි. එම ගමන දුෂ්කර නමුත්, හරවත් සහ රසවත් එක් වූයේ, නිමල් මහතා අපට අවශ්‍ය සියළු තොරතුරු එම ගමන අතරතුර අප සමග බෙදා ගැනීම හේතුවෙනි. එම විඩාබර ගමන අවසන් වුණේ අපගේ බලාපොරොත්තු සඵල කරගැනීම සඳහා අක්කර දෙකක භූමි ප‍්‍රමාණයක් තෝරාගැනීමත් සමගිනි. එය අපගේ ව්‍යාපෘතියට නව පණක් එකතු කරන්නට වුණා.

තවත් අභියෝග රැසක් අප හමුවේ දිග හැරෙන්නට පටන් ගත්තා. අපිට කොච්චර පැළ ඕනෙද? මොනවද හරියන පැළ? අපි කොහොමද මේවා හිටවන්නෙ? යන්න එම අභියෝගවලින් කිහිපයකි. එම සියලූම ගැටලූවලට පිළිතුරු සොයන්න අපි නොයෙකුත් ස්ථාන වෙත ගියා.

‘‘කරන වැඬේ හොඳ දෙයක් නම් කවදත් වරදින්නෙ නෑ කියනවනේ.’’ එම වැකිය සනාථ කරමින් අපට අවශ්‍ය පැළවලින් වැඩි ප‍්‍රමාණයක් කිසිදු අයකිරීමකින් තොරව ලබාදීමට පරිසරවේදියෙක් වූ අරුණ මහතා ඉදිරිපත් වුණා. එමෙන්ම, අපගේ ඉදිරි වැඩ සියල්ලටම අවශ්‍ය ගුරුහරුකම් ලබාදීමට එතුමා අමතක කළේ නැහැ. එම පැළ ඉතා වටිනා සහ දුර්ලභ පැළ වන කළුවර, වීර, පලූ, නෙරළු, මූනමල්, මඟුල් කරඳ වැනි ශාක රැසකින් සමන්විත විය.

ඔක්තෝම්බර් 13, ඒක තමයි දවස. එම දිනයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. භූමිය සකස් කිරීමේ අරමුණින් අපි නැවත වරක් කොහොඹගස් වැව බලා යාමට දින යොදා ගත්තේ ගමනට අවශ්‍ය සියලූම දෑ රැස්කරගැනීමෙන් අනතුරුවයි. මෙම ගමනේ ප‍්‍රධානතම අරමුණ වුණේ භූමියේ පැළ සිටුවන ස්ථාන හඳුනාගැනීම සහ අදාළ ස්ථාන සකස් කිරීමයි. එම ගමන අමතක නොවන මතකයන් රැසකින් පිරි එකක් කරගැනීමට ,ඨදදටකැ ඵ්චි, අපට මහඟු සහායක් ලබා දුන්නේ යාමට නොහැකි මාර්ග රැසක් අපට පෙන්වමිනි.

කෙමෙන් කෙමෙන් බලාපොරොත්තුවේ දිනය උදාවුණා. පෙර සැලසුම් කළ පරිදි පාන්දර 5.00 ට සියලූ දෙනා තුරඟ තරඟ පිටිය ඉදිරිපිටට එකතු වීමට තීරණය කළා. නමුත් ගමන අරඹන විට උදෑසන 6.00 ට පමණ ඇති. වැඩි දුරක් යන්නට මත්තෙන් ජංගම දුරකථනය නාද වන්නට පටන් ගත්තා. ‘‘අප්පා රශ්මික’’, වත්තල හිරු රශ්මිය අපේ රශ්මිකව තුරඟ තරඟ පිටිය ළඟ අමතක කරල තමයි අපි අපේ ගමන ආරම්භ කරල තියෙන්නෙ. ඔහු නැවත පැමිණෙන තුරු බසය නවතාගෙන සිටි අප, ඔහු බසයට ගොඩවනවාත් සමගම නැවත ගමන ආරම්භ කළා. එම ගමන රස කථාවලින් පිරී ගිය එකක්. කැලණිය විශ්වවිද්‍යාල රොටරැක්ට් සමාජය නියෝජනය කරමින් අප ගමනට එක්වූ දසාරි ගමනට නව පණක් එකතු කළා. අපේ දයාබර රොටරැක්ට් දිස්ත‍්‍රික් නියෝජිත ක‍්‍රිශාන් බලාජි ද අප ගමනට එක්වෙමින්, මුළු ගමන පුරාවටම ඉතාමත් සැපවත් නින්දකට යොමුවන්නට වූයේ, පෙරදින පැවති සාදයක් හේතුවෙන් ඇති වූ විඩාව නිවාගැනීමේ අටියෙනි. කෙමෙන් කෙමෙන් අපි අපගේ ‘‘හරිත අරණට’’ ළඟා වුණි. ඒ වන විටත් එළඹෙන වසරේ දිස්ත‍්‍රික් රොටරැක්ට් නියෝජිත වන කසුන් සිගේරා එම ස්ථානයට පැමිණ සිටීම අපගේ සතුට තවත් වැඩිකිරීමට කාරණයක් වුණා.

අපි අපගේ ගමනාන්තයට ළඟා වන විට වෙලාව පෙරවරු 9.00 ට ආසන්න වී තිබුණා. අප සැමගේ පළමු කර්තව්‍යය වූයේ කපා තිබූ වලවල් සඳහා අවශ්‍ය ප‍්‍රමාණයට පස් සහ පොහොර යෙදීමයි. එම කාර්යය පහසු එකක් නොවූයේ ඒ වන විට මුළු ප‍්‍රදේශය පුරා පවතින දැඩි හිරු රශ්මිය නිසාවෙනි.

ඉතාමත් කලාතුරකින් ඇඟපත වෙහෙසවා වැඩ කරන බොහෝ දෙනා උද්යෝගයෙන් සහ උනන්දුවෙන්, දහඩිය වගුරමින් ලහිලහියේ බිම සකසන්නට වුණා. ඉතාමත් කටුක කාලගුණ තත්ත්වයක් වුවද සියළුම දෙනාගේ මුහුණුවල තිබුණේ දැඩි උද්යෝගයක්.

අනතුරුව යෙදී තිබුණේ නිල වශයෙන් සමාරම්භක උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කිරීමටයි. ව්‍යාපෘති ප‍්‍රධානී අඛිල සභාව ආමන්ත‍්‍රණය කරමින් මෙම මහඟු කර්තව්‍යයේ ප‍්‍රධාන අරමුණ පැමිණ සිටි සියළුදෙනා හට පැහැදිලි කළා. ඉන් අනතුරුව දිස්ත‍්‍රික් රොටරැක්ට් නියෝජිත ක‍්‍රිෂාන් බලාජී සහ එළඹෙන වසරේ දිස්ත‍්‍රික් රොටරැක්ට් නියෝජිත වන කසුන් සිගේරා උත්සව සභාව ආමන්ත‍්‍රණය කරන්නට යෙදුණා. අවසාන වශයෙන් තම අදහස් සහ මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳ අදහස් පළ කරන්නට වූයේ අපගේ හිටපු සභාපති වරයෙකු වන සල්මාන් නිසම්ඞීන් විසිනි. සියළු දේශනවලින් අනතුරුව ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් ව්‍යාපෘති සමරු ඵලකය විවෘත කරන්නට විය. එම අවස්ථාව අප සිත් තුළ ජනිත කළේ අමුතුම ප්‍රෞඪත්වයකි.

ශ‍්‍රී ලංකා රොටරැක්ට් සමාජයේ 50 වන සේවා වසර සනිටුහන් කිරීම කරණ කොටගෙන, ‘‘හරිත අරණ’’ ව්‍යාපෘතියේ පළමු අධියරේ පැළ 50 ක් සිටුවීමේ කර්තව්‍යය ඉන් අනතුරුව ආරම්භ වුණා. එය එතරම් පහසු කර්තව්‍යයක් නොවූයේ ඒ වන විටත් හිරු රශ්මිය තදින්ම පොළවට පතිත වන නිසාවෙනි. අප සිත් තුළ වූ උද්යෝගයට අභියෝග කිරීමට එම හිරු රශ්මියට කිසිදු හැකියාවක් තිබුණේ නැහැ. එම අත්දැකීම ඉතාමත් දුෂ්කර නමුත්, සතුටුදායක එකක් වුණා. පැළ සිටුවීමේ කර්තව්‍යයේ යෙදුණු අප සැමදෙනා හට හිම කිරමයක රස බැලීමට හැකි වුණේ අප සමාජයේ ලේකම් තුමිය වන නදීරා උඩවත්තගේ දායකත්වයෙනි. එය වැලි කතරට වැටුණු දිය බිඳක් මෙන් අපගේ විඩාව නිවන්නට සමත් විය.

සියළුම පැළ සිටුවා අවසන් කිරීමට, පැය දෙකකට වඩා වැඩි කාලයක් ගතව තිබුණා. ඒ වන විට සැමදෙනාගේම මුහුණු වලින් දහඩිය බිඳු වැගිරෙන්නට වුණත්, එම මුහුණු කියාපාන්නට වූයේ ‘‘මේ රට වෙනුවෙන් අපි අපගේ වගකීම ඉටුකළා’’ යන තේජාන්විත භාවයකි.

අප විසින් අපිටම පිළියෙල කරගත් සුළු සිසිල් පැන් සංග‍්‍රහය භුක්ති විඳ අතපය සෝදා ගැනීමෙන් අනතුරුව නිවස බලා ඇදෙන්නට වුණේ, මෙය මෙම මහඟු කර්තව්‍යයේ පළමු පියවර පමණක් යන්න සිතේ රඳවාගනිමිනි.

ශ‍්‍රී ලංකා රොටරැක්ට් සමාජයේ දහඩිය මහන්සියෙන් අපගේ අනාගත පරපුර වෙනුවෙන් ගොඩනැගෙන මෙම වන ව්‍යාපෘතියේ පළ ප‍්‍රයෝජන ඉදිරි පරම්පරා ගණනාවක් භුක්ති විදීවා යි යන ප‍්‍රාර්ථනයෙන් ඔබ සැමට සමු දෙන්නට කැමැත්තෙමි.

නිපුන් අල්ව්ස් | nipunalwis@gmail.com

Related Posts

410 Gone

410 Gone


openresty